කටකාර සිතුවිලි වල පෙලගැස්ම

Sep 9, 2017

මගේ ආයාචනය

එදා නම් වැස්ස නුඹ සොඳුරුතම සිහිනයක්
පෙම් හැඟුම් තටු ලැබූ රස මවන ලෝකයක්
ගුගුරුවා ගෙන අහස නුඹ ආව වේගයක්
මෙදා නුඹ බිය රැඳුන නපුරුතම හීනයක්




ගංකොමලියගෙ පහසින් සරු ගම් පියසේ
මා ප්‍රිය සුහද නෑ පිරිවර සමඟ වෙසේ
රකුසු වෙසින් නුඹ එනකොට මේ විලසේ
කොලොම් පුරේ  මම වැහි සුව විඳිනු කෙසේ




මිහිකත සනහ සනහාලන වැහි බින්දූ
මගෙ හද දව දවා නෙත කඳුලැලි රැන්දූ
ඔහු ගැන විපරමෙන් තිස්පැය බිය කැන්දූ
මල්වැස්සක් වෙලා වැහැපන් වැහි බින්දූ




පොද වැස්සක්ව කෙත් වත් සරු කරලන්න
චන්ඩ නොවී ගං ඇල දොල පුරවන්න
කලට වැසි දිදී ගස් වැල් පුබුදන්න
ආයෙත් එපා රුදුරුව ගම් වනසන්න





Aug 22, 2017

නුඹේ මුදු මදුර ස්වර සෙනෙහසින් හැඩවෙවී



නුඹේ මුදු මදුර ස්වර සෙනෙහසින් හැඩ වෙවී
මගේ ලොව නිවාලයි කඳුලකට ඉඩ නොවී
නුඹේ හද වීනාවෙ ස්වර අතර නැලවෙවී
සසරේම හිඳින්නම් ඔය සෙනෙහෙ සිර වෙවී
ගඟක් ගිම් දුරලන්නෙ සයුර හමු වුනු දාට
දහක් කවි පබැදෙන්නෙ ලොවක් නිදියන රෑට
මලක් පෙති විහිදන්නෙ මුවරදින් පිරි දාට
මගේ හද සැනසෙන්නෙ නුඹෙ කිරුල හිමි දාට

Jun 1, 2017

සිතින් සිත බැඳ අතින් අත ගෙන සොඳුරු දෙහදක් යාවුනා

පාසලේ ඉඳන් සරසවිය දක්වාම ලබැඳියන් වගේ එක බත්පතට වගකියපු. ජීවිතයට සොඳුරු මතකයන් එක්කරපු. බ්ලොග් ලෝකයට එන්න පාර හදල දීපු කසුන් අයියටත් මගේ ආදරණීය යෙහෙලිය සත්‍යා නිර්මානිටත් අදින් ඇරඹුනු යුග දිවිය සාර්තක වාසනාවන්ත දිවි ඇති තුරාවටම දෙහදක් ආදරයෙන් පිරි සමණල වසන්තයක් වේවායි මම හදවතින්ම සුබපතනව.


තුරුවැල් මල් හසරැලි විසිරී
මුමුනයි ආදරයක අසිරී
සත්‍ය කසුන් හට සුබාසිරී
ගෙනඑයි මුදු පවනැලි සරැලී


දහසක් බාදක විඳ දිරියෙන්
ආ මග නැවතුනි සිනා තොටින්
ආදරයේ රන් කිරුලු දරන්
අද දෙහදක් සැනහේ සතුටින්


දිවිමග ඉසුරෙන් සපිරෙන්නයි
සැමදෙවියන් ඔබ රැකදෙන්නයි
දූදරුවන් ලැබ සෙනෙහෙ කැදැල්ලක
සහසක් පැතුමන් ඉටුවෙන්නයි

May 21, 2017

තටු සිඳුනු සමනළී

තටු සිඳුනු සමනලී
නෙත් කඳුලු සැලි සැලී
අවසන්ව සැනකෙලී
ලතවේවි සියුමැලී


ගම්මානයේ සොඳුරු රූ තාරකාවී
නෙත්මානයේ මව් හැදුනු සීදේවී
සිනා කැන් සල සලා දඟ කරපු සාවී
දිරියෙන්ම නැණ වඩපු සොඳ බාලිකාවී


කැකුලු ඇඟ කඳ සොඳට
මෝරලා යස රුවට
රොන් සොයන බිඟු කැලට
බැලුම් අඩු නෑ නුඹට


රිය කවුලුවෙන් ගමේ දිලිඳුකම් බල බලා
ගම වටේ ඉගිලුනේ ඔහු සමග හිනහිලා
ඔහු කතාවෙන් මැවූ සුරලොවේ තනිවෙලා
නුඹ හඬයි  ඉකිලමින් ගම අසල නැවතිලා


Mar 13, 2017

ඉතින් ඉගිලී යන්න



ඇවිත් නුඹෙ නෑසියන්
දායාධ විමසමින්
වචන අවි අමෝරා යුධ වදිනවා
දෑවැද්ද නැති ගෑනු ගන්න තොට පිස්සුදැයි
රුදුරු කරකෂ වදන් ඇසෙනවා
සතෙන් සතේඑක්කරන්
මාසෙ මුල පඩි පතෙන්
කනකරට රන් රුවන්
නොතැනුවේ කිම මගෙන් අහනවා
අම්ම ගේ බෙහෙත් ටික
ලිප ඉදෙන බත්පතට
මගේ හැම හීනයම
කැප කරපු බව නුඹත් දන්නවා
සැප දුකට හුරු හිතක්  
ආදරෙන් නුඹ නමින්
දායාධ ලෙස දෙන්න
මගේ ලඟ නොවෙනස්ව තියනවා
නුඹට ඒ දායාධ පිලිගන්න නොහැකි නම්
ඉතින් ඉගිලී යන්න
හදවතේ දොර කෞලු හරිනවා