කටකාර සිතුවිලි වල පෙලගැස්ම

Oct 26, 2016

එදා සහ අද

එදා නුඹෙ විජිතයේ මම සුවඳ මලක් විය
ප්‍රේමයේ මුදුසුවඳ නුඹ වටා විදාහල
ලොවම එරෙහිව ඉද්දි නුඹ නමින් ඉකිබින්ද
මතකයිද හදවතක් නුඹෙ නමට වෙන්වෙච්ච
නිලෙන් බලයෙන් ටිකෙන් ටික උඩට ගිය නුඹට
රුවෙන් අඩු මලක් විය නොපෑහෙන නුඹෙ ලොවට
සියක් මල් වට කරන් විසි කලා මා ඉවත
නුඹෙ ලොවට කිසිමදා නොගන්නට මා නැවත

අද ඔහු ගෙ ලෝකයට මම සොඳුරු සඳවතක්
ඒ සෙනෙහෙ කිරුලුලන සුපෙම්වත් රැජිනියක්
මගෙ කඳුලු මකාලන ඔහු සෙනෙහෙ උල්පතක්
අපේ ලොව ප්‍රේමයෙන් පිරි සොඳුරු ගීතයක්

Oct 21, 2016

නිවාඩුව එන තුරා

සෙනෙහස සුවය පිරි සොඳුරුම කැදැල්ලක
නැලවුනු හැඟුම් ආදර මල් තොටිල්ලක
තනි කර දමා ඒ හැඟුමන් ඇසිල්ලක
දුරස් කලේ ඇයි නුඹ මා ගෙන් දුරක

අකුරු අඩු පාසලක නගරෙන් දුර ඈත
සප්ත ස්වර රටා මවනා නුඹෙදෑත
වෙහෙසෙයි පුබුදුවන්නට තරු මල් දෝත
නුඹ ගැන හිත හිතා ලතවෙයි මම මෑත

තොල් පෙති නලියාවි නුඹ හා දොඩන්නට
දුරකථනෙත් ගොලුයි බෑ හරි හැටි අමතන්ට
කෙටි පනිවිඩ පමනි ඇත්තේ සැනසෙන්ට
නුහුරුයි නුඹ නැතිව ගෙවෙනා තනිය මට

සඳ ඇවිත් සලා යහනත රැස් කැරලි
ඇරයුම් ගෙනෙයි රඟනට රාග රතිකෙලි
නුඹ නැතිව කෙලෙස මගෙ සිත නැලවිලි
පායන්නෙපා වාවනු බෑ සඳ කොමලි

එලඹෙන දොහේ නිවාඩුවට සෙනෙහෙ අරන්
මග තොට නොනැවතී පියසට ඉගිල්ලියන්
සුදුබත් පතට කැබෙල්ල දලු මාලු උයන්
බලාහිඳිමි හැරගෙන නෙතු කෞලුපියන්



Oct 19, 2016

මේ මා ගේ පලමු පෝස්ටුවයි.

බ්ලොග් ලෝකයේ ආදරණීය මිතුරනි. මාස 6ක් පුරාවටම ඔබ ගේ බ්ලොග් ලිපි කියවමින්   නොදත් දේ බොහෝමයක් උගත්තෙමි. අපූර්ව නිර්මානයන් රසවින්දෙමි. මෙලෙස මගේ කටකාර සිතුවිලි එක්තැන් කොට නිර්මානකරනයේ යෙදීමට මා කටකාරි ගේ ලෝකය තුලින් තබනා පළමු පියවරයි මේ. එන්න.මගේ කටකාර ලෝකය හැඩකාර කරන්න. මගේ පෝස්ටු වල ගුන දොස් දකින්න ඔබට පූර්ණ අවසරය මම ලබා දෙමි. තවත් එකක් කියන්නම ඕන. මේ බ්ලොගය නිර්මානය කරන්න මට උදව් කරපු අහසෙන් එන්න කසුන් අයියට නිර්මානිට ඒ වගේම ඉෂානි මිතුරියට අනේක වාරයක් ස්තූතියි. ඒ වගේම අද සිට නොයෙක් මාදිලියේ රස පිරුණු මගේ කටකාර සිතුවිලි සෛබර් අවකාෂයේ ගෙත්තම් කරන්නට ඉතින් මට අවසරයි.